දේශගුණික විපර්යාස හමුවේ ආහාර ප්‍රවේශය සහතික කිරීම

July 1, 2021

දේශගුණික විපර්යාස සහ ආහාර අනාරක්ෂිත භාවය සෘජුවම එකිනෙකට සම්බන්ධ වන අංශයන් වේ. දේශගුණික විපර්යාස ආශ්රිත උපද්රව වන ගංවතුර, සුළි කුණාටු, සුනාමි, නියඟ සහ වෙනත් අවදානම් ආහාර සුරක්ෂිතතාවය දුර්වල කළ හැකි උපද්රව වන අතර කෘෂිකාර්මික කටයුතුවලට මෙමඟින් දැඩි ලෙස බලපෑම් ඇති කරයි. එහි ප්රතිඵලය ලෙස  මෙය වෙළඳපොළ ප්රවේශය, වෙළඳාම, ආහාර සැපයුම, ආහාර මිල ඉහළ යාම, ගොවි ආදායම අඩුවීම සහ සේවා නියුක්තිය යන විවිධ විශයන් කෙරෙහි දැඩි බලපෑම් ඇති කරයි. මෙම දේශගුණික විපර්යාස මගින් දරිද්රතාවයට ද මඟ සැලසෙන අතර එමඟින් ආහාර අනාරක්ෂිතතාවය සහ මන්දපෝෂණය ඉහළ යාමද සිදුවේ. සංසන්දනාත්මක කාල පරිච්ජේදයන් තුළ මානව ක්රියාකාරිත්වයට ඍජුව හෝ වක්රව ආරෝපණය කෙරෙන ගෝලීය සංයුතීන් හි වෙනස් වීම හා විචල්යතාවයන් එක්සත් ජාතීන්ගේ සම්මුතිය මගින් දේශගිණික විපර්යාස ලෙස නිර්වචනය කර ඇත.  

එක්සත් ජාතින්ගේ අහාර සහ කෘෂිකර්මාන්ත පනතට අනුව ගත් විට ආහාර සුරක්ෂිතතාව යනු ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගීමත් ජිවිතයක් ගත කිරිමට අවශ්‍ය ආහාර සහ එහි රුචිකත්වය සපුරාලිය හැකි පරිදි, ප්‍රමාණවත්, සුරක්ෂිත සහ පෝෂ්‍යදායි ආහාර සියළුම පුද්ගලයන්ට සෑම කල්හිම භෞතික, සමාජිය සහ ආර්ථික වශයෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාවයි. ආහාර සුරක්ෂිතතාව ගත් කල්හී එය හුදෙක්ම ආහාර අවශ්‍යතා මත පමණක් ලඝු කොට දැක්විය නොහැක. එය ඉතා පුළුල් පාරාසයක් වෙත විහිදී යන අංශයක් වේ. එලෙස ගත් කල ආහාර සුරක්ෂිතතාවයේ මූලිකම පැතිකඩයන් ලෙස ආහාර සුලබතාවය, ආහාර සඳහා වු තිරසාර ප්‍රවේශයන්, ආහාර උපයෝජනය සහ මේ සඳහා ඇති ස්ථායිතාව සරලව දැක්විය හැකිය. එබැවින් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සංකල්පය ගත් විට එය ආහාර නිෂ්පාදනය සහ ආහාර සැපයුම යන මුලිකම අභිප්‍රායන් අභිබවා යමින් ආහාර බෙදා හැරීම, ගබඩා කිරීම, පිරිවැය, සියළුම ප්‍රාදේශ වලට ප්‍රමාණවත් ලෙස ආහාර සැපයීම, ප්‍රමාණවත් පෝෂණය, සමාජිය වශයෙන් ආහාර සඳහා ඇති ප්‍රවේශය, සනිපාරක්ෂාව සහ දේශගුණික විපර්යාස හෝ වසංගත වැනි තත්වයන් වලදී අඛණ්ඩව ආහාර සැපයුම ලබාදීම වැනි පුළුල් පරාසයක විදහා දැක්විය හැකිය. මීට අමතරව ආහාර අනාරක්ෂිත බව කෙටි කාලීන මෙන්ම දිර්ඝ කාලීන ප්‍රතිඵල ගෙන දිමට සමත්‍ වේ. ඉතා මතුපිටින් සරලව ගත් විට ආහාර අනාරක්ෂිත බව නිසා සිදුවන ප්‍රධානතම බලපෑම වන්නේ සාගින්නයි. එය එසේ වුවද ආහාර අනාරක්ෂිතභාවයේ දිර්ඝ කාලීන ප්‍රතිඵල සහ අතුරු ප්‍රතිඵල රාශියක් මේ වන විට හඳුනා ගෙන ඇත. මේ අතර අඩු බර, කෘෂ බව, ක්ෂුද්‍ර පෝෂක ඌණතාවය වැනි ගැටළු රාශියක් ඇති විය හැක. මේ හේතුවෙන් ඇති වන රෝගි තත්වයන් ගත් කල දියවැඩියාව, අධි රුධිර පිඩනය වැනි රෝග රාශියක් ඇති විය හැක. මේ තත්ව සඳහා බොහෝ විට මුහුණ පෑමට සිදුවන කොට්ඨාසය වන්නේ කුඩා ළමුන් සහ කාන්තවන් වේ. එම නිසා මේ සඳහා සාර්ථක ලෙස පිළියම් යෙදිමට තිරසාර සංවර්ධන ඉලක්ක තිබිය යුතුම වේ. 

ලෝක ආහාර සහ කෘෂිකර්මාන්ත සංවිධානයට අනුව ලොව සමස්ථ ජනගහනයෙන් 8% එනම් මිලියන 690 ක පමණ ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කර ඇත. නමුත් කණගාටුවට කරුණ වන්නේ වර්තමානයේ ඉතා සීඝ්‍ර ලෙස ඇති වි දේශගුණික විපර්යාසයන් සහ කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ මෙම ප්‍රමාණය ඉතා ඉහළ අගයක් දක්වා වර්ධනය වීමයි. මෙම නිසා මේ සඳහා පෙරට වඩා ඉහල ජාත්‍යන්තර මැදිහත් විමක් අවශ්‍ය බව ඉතා පැහැදිලිය. දේශගුණික විපර්යාස සහ ආහාර සුරක්ෂිතතාව අද වන විට ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ එම නිසාය. 

එම නිසා මේ වන විට මේ සඳහා ජාත්‍යන්තර අවධානය යොමු වී ජාත්‍යන්තර මැදිහත්වීම් රාශියක් ලැබි ඇත. එම ප්‍රධාන ජාත්‍යන්තර මැදිහත්වීම් ලෙස එක්සත් ජාතින්ගේ ආර්ථික සහ සමාජිය කටයුතු කවුන්සලය මගින් ඉදිරිපත් කල තිරසාර සංවර්ධන ඉලක්කයන් (SDGs) හඳුන්වා දිය හැක. මෙය රියෝ + 20 සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගුණු අතර මෙම සියළුම ඉලක්කයන් සහස්‍ර සංවර්ධන ඉලක්කයන් වල ඉදිරි පියවරක් වන අතර 2015 වර්ෂයේ සිට 2030 වර්ෂය දක්වා පැතිර පවතින අතර තිරසාර සංවර්ධන ඉලක්කයන් 17ක් මෙහි අන්තර්ගත වේ. මෙය සියළුම අංශයන් ආවරණය වන පරිදි ගොඩනැගුණු පැහැදිලි අන්තර්ජාතික ක්‍රියාදාමයක් වන අතර සියළුම පාර්ශවකරුවන් නියෝජනය වන ලෙස මෙය සකසා ඇත. මෙය ප්‍රධාන වශයෙන්ම ලෝකයේ ඇති සියළුම රටවල්  සහ එම රටවල් වල පවතින අවශ්‍යතා සහ අභියෝගයන් තුරන් කිරිමට හැකි වන පරිදි සකසා ඇත. මෙම තිරසාර සංවර්ධන ඉලක්ක‍යන් හී සංකල්ප අතර මානව වර්ගයා දරිද්‍රතාවයෙන් නිදහස් කර ගැනිම, කාන්තවාන් සවිබල ගැන්විම, දේශගුණික විපර්යාස කෙරෙහි අනුවර්තනය වීම, සාමය, ආරක්ෂාව සහ යහපාලනය  වැනි ඉතා වැදගත් පැතිකඩයන් අන්තර්ගත වේ.

දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මාන්තය ගත් විට එයට බලපාන මුලිකම තිරසාර සංවර්ධන ඉලක්කයන් වන්නේ දෙවන සහ දහතුන්වන තිරසාර සංවර්ධන ඉලක්කයන් වේ. 

                                                                                        

 එනම් දෙවන තිරසාර සංවර්ධන ඉලක්කය වන්නේ කුසගින්න දුරලීම, ආහාර සුරක්ෂිතතාව සහ ඉහළ පෝෂණයක් අත්පත් කරගැනිම සහ තිරසාර කෘෂිකර්මාන්තයක් ප්රවර්ධනය කිරීමය. එයට සමගාමීව දහතුන්වම තිරසාර සංවර්ධන ඉලක්කය වන්නේ දේශගුණික වෙනස්වීම් හා එහි බලපෑම් වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගැනිමයි. තවදුරටත් මෙහිදී දෙවන තිරසාර සංවර්ධන ඉලක්කයේ අභිප්රායන් වන්නේ 2030 වන විට කුඩා ළදරුවන්, දිළිඳු අසරණ පුද්ගලයන්, කාන්තාවන් ඇතුළු සියළුම පිරිස් සඳහා ආහාර ප්රවේශය සැපයිම සහ ඔවුන්ගේ දිළිඳුකම පිටු දැකිමය. මීට අමතරව ඉඩම්, අමුද්රව්ය, දැනුම, මුල්යමය සේවාවන් ආදිය ලබදෙමින් කෘෂිකාර්මික අංශයට ප්රවේශ වීම සඳහා ආරක්ෂිත මර්ගයක් සලසමින් කෘෂිකාර්මික එලදායිතාවය 2030 වන විට දෙගුණ කිරීමය. මෙහි දහතුන්වන තිරසාර සංවර්ධන ඉලක්කය මගින් තවදුරටත් කියවෙන්නේ ජාතික ප්රතිපත්ති සහ උපායමාර්ග සැළසුම් කිරිමේදී දේශගුණික වෙනස්වීම් සඳහා බලපාන සාධක ඇතුළත් කිරීමය. මීට අමතරව දේශගුණික සහ ස්වභාවික විපත් සඳහා මහජනයා සුදානම් කිරීම සහ රාජ්ය න්යාය පත්රය තුල දේශගුණික වෙනස්වීම් සම්බන්ධ ගැටළු සාකච්ඡාවට ලක් කිරීම සහ ඒවාට පිළියම් සෙවිමය.

ආහාර සුරක්ෂිතතාව සහ දේශගුණික ආපදා අවදානම කළමනාකරණය කෙරෙහි තවදුරටත් ජාත්‍යන්තර මැදිහත්වීම ලබාදෙමින් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2021 වසරේදී ආහාර පද්ධති සමුළුවක් කැඳවනු ලැබීය. මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා විසින් කැඳවනු ලැබූ අතර මෙම ආහාර පද්ධති සමුළුව ප්‍රධාන ක්‍රියා පථයන් (Action Tracks) 5 ක් වටා සංවිධානය කර ඇත.  ඒවා නම්, 

  • ක්‍රියා පථය 01 - සැමට ආරක්ෂිත සහ පෝෂ්‍යදායි ආහාර සඳහා ප්‍රවේශය සහතික කිරීම.
  • ක්‍රියා පථය  02 - තිරසාර පරිභෝජන රටාවන්ට හුරුවීම.
  • ක්‍රියා පථය  03 - සොබාදහම මූලික කරගත් නිෂ්පාදනයන් ඉහළ නැංවීම.
  • ක්‍රියා පථය  04 - ජීවනෝපායන් සවිබල නැංවීම.
  • ක්‍රියා පථය  05 - අවදානම් සඳහා අනුහුරු වීම.

මෙම ක්‍රියා පථයන් මගින් විශේෂයෙන්ම ලොව පුරා ආහාර පද්ධතිවල විශේෂතාව හඳුනා ගනු ලබන අතර මානව හිමිකම්, මුල්‍ය නවෝත්පාදනය, කාන්තාවන් සහ තරුණ ප්‍රජාව සවිබල ගැන්විම වැනි කරුණු ගවේෂණය කරනු ලබයි.  විශේෂයෙන්ම මෙහි සදහන් පස්වන ක්‍රියා පථය මගින් ස්වභාවික විපත් ඇතිවිය හැකි ප්‍රදේශවල තිරසාර ආහාර පද්ධතිවල අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහතික කිරීම පිළිබඳ විමසනු ලැබෙයි. වර්තමානයේ වසංගතයේ බලපෑමෙන් ආහාර සැපයුම් ආරක්ෂා කරගැනිම පිළිබඳවත් තවදුරටත් පස්වන ක්‍රියා පථය මගින් විමස‍යි. මෙම ක්‍රියා පථයේ මූලිකම අභිලාෂය වන්නේ ආහර පද්ධතියක් තුළ සිටින සියළුම පුද්ගලයන්ට ආහාර අස්ථාවරභාවයට සුදානම් වීමට සහ අනුහුරු වීමේ ක්‍රියාවලිය සහතික කිරීමයි.

දේශගුණික සහ ආපදා අවදානම ආමන්ත්‍රණය කිරීමේදී, විශ්වීය ආහාර ප්‍රවේශය සහතික කිරීම සඳහා පවතින අභියෝග සහ ඒ සඳහා ඇති විසඳුම්;

අභියෝග

  • වෙළඳපොලේ මිල ඒකාධිකාරයක් පැවතීම.
  • අධි තාක්‍ෂණික සම්පත් නොමැතිවීම.
  • කුඩා පරිමාණ ගොවීන්ට ජාත්‍යන්තර වෙළඳපොළවල සමඟ තරඟ කිරීමට අපහසු වීම.
  • ජාතික තීරණ ගැනීමේදී කෘෂිකර්මාන්තය අතහැර දමා තිබීම.
  • දේශගුණික විපර්යාසයන් සඳහා වඩාත් ඔරොත්තු දෙන බීජ වල ආකාර නොමැති වීම.
  • නව සන්නිවේදන තාක්ශණය ලබාගැනිමට ඇති හැකියාව පහළ මට්ටමක පැවතීම.

විසඳුම්;

  • ඒකාබද්ධ කෘෂිකාර්මික පද්ධති ස්ථාපිත කිරීම.
  • උපායමාර්ගික ආහාර සංචිත ස්ථාපිත කිරීම.
  • මැදිහත්කරුවෙකු නොමැතිව ගොවියාට නිසි මිලක් ලබා දීමට කටයුතු කිරීම.
  • ආහාර නිෂ්පාදනය සඳහා දත්ත සමුදායන් ඇති කිරීම.
  • සාධාරණ වෙළඳ ප්‍රවේශයන් ස්ථාපිත කිරීම.
  • ආහාර නිෂ්පාදනය පෝෂණ අවශ්‍යතා සමඟ සම්බන්ධ කිරීම.

ආහාර පද්ධතීන් සදහා අනුහුරු විමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා පවත්නා මූල්‍ය යාන්ත්‍රණයන් හෝ නව්‍ය මූල්‍ය යාන්ත්‍රණයන් උපයෝගී කර ගැනීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා  පවතින අභියෝග සහ ඒ සඳහා ඇති විසඳුම්;


අභියෝග

  • වත්මන් ණය ක්‍රමවේදය ඇපකරය මත පදනම් වීම.
  • ගොවීන් අතර මූල්‍ය සාක්ෂරතාවය නොමැති වීම.
  • ස්වාභාවික විපත් වලට මුහුණ පෑමට සිදුවීම. 
  • ගොවීන් අතර ඩිජිටල්කරණය කළ දත්ත වලට ප්‍රවේශය නොමැති වීම.
  • නව මූල්‍ය ආකෘති කෙරෙහි විශ්වාසයක් නොමැති වීම.


විසඳුම්

  • මූල්‍ය යාන්ත්‍රණ ක්‍රමවේද පිළිබඳව  ධාරිතා වර්ධනය වැඩසටහන් පැවැත්වීම. 
  • මූල්‍ය ප්‍රවේශයට ආකර්ශණිය නව්‍ය ක්‍රම හඳුන්වා දීම.
  • කඩිනම් මූල්‍ය ප්‍රවේශයන් ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
  • ගොවි ප්‍රජාව හට විශේෂ ණය ක්‍රමවේද හඳුන්වාදීම.
  • පෞද්ගලික අංශයේ මැදිහත් වීම ඉහළ නැංවීම.
  • මූල්‍ය ක්‍රමයන් ආශ්‍රිතව පවතින දත්ත සියල්ල එකරැස් කර ඒවා විශ්ලේශණය කිරීම. 
  • කාන්තාවන් සහ තරුණ ප්‍රජාව මූල්‍ය කටයුතු කෙරෙහි බල ගැන්වීම.


අවදානමට ලක්විය හැකි කෘෂිකාර්මික ප්‍රජාවන්ට සහ කණ්ඩායම් සදහා මූල්‍ය ප්‍රවේශය සඳහා  පවතින අභියෝග සහ ඒ සඳහා ඇති විසඳුම්;


අභියෝග

  • දුර්වල මූල්‍ය පද්ධති සහ කළමනාකරණය ක්‍රමවේද ක්‍රියාත්මක වීම.
  • මූල්‍ය ආයතන කෙරෙහි විශ්වාසයක් නොමැතිවීම.
  • ගෘහස්ථ මුදල් ප්‍රවාහය දුර්වල වීම.
  • අවිධිමත් හා ලියාපදිංචි නොකළ ආහාර නිෂ්පාදකයින්  බහුල වීම.
  • ඉඩම් පිළිබඳ ආරවුල් සහ අපැහැදිලි / තරඟකාරී ඉඩම් අයිතීන් පැවතීම.


විසඳුම්

  • අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට අරමුදල් ලබා ගැනීම සඳහා රජය ප්‍රමුඛ ක්‍රියාදාමයන් ඇති කිරීම.
  • ප්‍රජාවන්ට මූල්‍ය ප්‍රවේශයට ඉඩ සැලසීමට මූල්‍ය මාර්ගෝපදේශන් ඇති කිරීම සහ ඒවා ප්‍රචාරය කිරීම. 
  • තරුණයින් ප්‍රජාව වැඩි වශයෙන් මැදිහත් කරගැනීම. 
  • වැඩමුළු සහ ධාරිතා වර්ධන වැඩසටහන් සඳහා ගොවීන් සක්‍රීයව සහභාගී කරවා ගැනීම.
  • අවදානමට ලක්විය හැකි කෘෂිකාර්මික ප්‍රජාවන්ට බලපාන ගැටළු නියෝජනය කරන රක්ෂණ නිෂ්පාදන සංවර්ධනය කිරීම.
  • රක්ෂණ නිෂ්පාදන කෙරෙහි ගොවි ප්‍රජාවගේ විශ්වාසය වැඩි දියුණු කිරීම.
  • රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම.


ශ්‍රී ලංකාව තුල පුද්ගලයන් මිලියන 1.7 ක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර එය  ජනගහනයෙන් දළ වශයෙන් 8% ක් ලෙස ගැනිමට හැකිය. ශ්‍රී ලංකාව තුල වයස අවුරුදු 5 ට අඩු ළමුන් අතර මන්දපෝෂණය බහුලව දක්නට ලැබෙන අතර, එය ගෝලීය වශයෙන් ගත් විට ද ශ්‍රි ලංකාව ඉහළ අනුපාතයකට හිමිකම් කියනු ලබයි. දේශිය මව්වරුන් අතරද මන්දපෝෂණය බහුලව දක්නට ලැබෙන අතර එය වතුකරයේ ඉතා ඉහළය. මන්දපෝෂණ තත්වයන්ට සමගාමීව කෘෂිකාර්මික, ධීවර හා පශු සම්පත් අංශ විසින් නිෂ්පාදනය කරනු ලබන ආහාර වලින් 30% ක් පමණ අකාර්යක්ෂම නිෂ්පාදනය, පාරිභෝගික නාස්තිය සහ ප්‍රවාහන හා බෙදා හැරීමේ ගැටළු හේතුවෙන් විනාශයට පත්වේ. දේශගුණික විපර්යාස සහ වර්තමානයේ COVID-19 වැනි අනෙකුත් අර්බුදකාරී තත්වයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ එහි සැපයුම් දාමයන් පිළිබඳ  සහ එයට දේශගුණික විපර්යාසයගෙන් සිදුවන බලපෑම පිළිබඳ අවබෝධ‍යක් ලබාගැනීම වැදගත් වන්නේ පවත්නා ගැටළු සහ ආහාර සුරක්‍ෂිතතාවය සහතික කිරීම සඳහා පවතින විසඳුම් අවබෝධ කර ගැනීම සඳහා ය. කාලගුණික පුරෝකථනයන්ට අනුව ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් සිදුවන්නේ ඊසාන දිග වියළි කලාපය අශ්‍රිතවය. නමුත් මේ වන විට මෙම ප්‍රදේශය වඩාත් ශූෂ්ක බවට පත්ව ඇති බව හෙළිවේ. ඒ සඳහා පැහැදිලි නිදසුනක් වශයෙන් 2016 වර්ෂයේදී මෙම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් හට ගත් නියං තත්ත්වය සැලකිය හැකිය. මෙම දේශගුණික විපර්යාස හේතුවෙන් වියළි කලාපයේ කෘෂිකර්මාන්තය වසර ගණනාවක් තිස්සේ විනාශයට  පත් කර ඇති අතර ගොවීන් ආර්ථික හා සමාජයීය ගැටලූ මුහුණ පැමට සිදුව තිබේ. ප්‍රධාන වශයෙන් මෙම ප්‍රදේශයේ කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවනෝපායටත්, ආහාර පද්ධති සඳහාත්, සමස්තයක් ලෙස මුළු මහත් රටටත් එය බලපා තිබෙන අතර ආහාර ද්‍රව්‍ය රටට ආනනය කිරීමට ද සිදුව ඇත.

ශ්‍රි ලංකාවේ ආහාර පද්ධතිය ගත් විට දේශීය නිපදවන සහ ආනයනය කරන ලද ආහාර වලින් සමන්විත වේ. එය ගෘහස්ථ ආහාර පරිභෝජනට සමගාමි ලෙස ගත් කළ ගෘහස්ථ ආහාර පරිභෝජනයෙන් 78% ක් දේශීය නිපදවන ආහාර වන අතර 22% ක් ආනයනය කරන ආහාර වේ. දේශීය නිපදවන ආහාර ලෙස සහල්, එළවළු, පළතුරු, මස් මාංශ ආදිය ද ආනයනය කරන ආහාර ලෙස තිරිඟු, ධාන්‍ය වර්ග, කිරිපිටි, සිනි ආදිය හැදින්විය හැකිය. ශ්‍රි ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වලට අනුව  අනුව දේශීය කෘෂිකර්මාන්තය මගින් දේශීය ආහාර අවශ්‍යතාවයෙන් 83% ක දායකත්වයක් ලබා දෙනු ලැබේ. එමෙන්ම කෘෂිකර්මාන්තය මගින් අපනයන ආදායමට 23% ක  දායකත්වයක් ලබා දෙනු ලැබේ. කෙසේ නමුත් ශ්‍රි ලංකාවේ ආහාර පද්ධතියේ මේ වන විට යම් අකාර්යක්ෂමතාවයක් දක්නට ලැබෙන අතර එයට ප්‍රධානතම හේතුව ලෙස බොහෝ අතරමැදියන් සහ අතරමැදි සැපයුම් දාමයේ සංකිර්ණ ස්වභාවය හේතු වී ඇත. එය තවදුරටත් සංකිර්ණ ගැටළුවක් බවට පත් විමට මේ වන විට සිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් - 19 වසංගතය හේතු වී ඇත. කෙසේ නමුත් පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව දිවයින පුරා ආහාර හිඟයක් අත්විඳ නැති අතර, මෙවැනි අර්බුද නිසා ජීවනෝපායන්, පෝෂණය, ආහාර සුරක්‍ෂිතතාව සහ ගොවි ප්‍රජාවන්ගේ යහපැවැත්මට අහිතකර බලපෑම් ඇති කළ හැකිය. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන්  7% ක පමණ කොටසක්  කෘෂිකාර්මික අංශය විසින් සපයනු ලබන නිෂ්පාදියන් අතරින් සැපයෙන අතර  දේශීය සේවා නියුක්තියෙන් 26.1% ක් (2017) පමණ ප්‍රමාණයක් කෘෂිකාර්මික අංශය   සේවය කරනු ලබයි.   මූලික වශ‍යෙන් ගත් කළ ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මික සැපයුම් දාමය පහත දැක්වෙන පරිදි විහිදී යනු ලබයි. මූලික වශ‍යෙන් ගත් කළ ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මික සැපයුම් දාමය ගොවීන්, වෙළඳුන්, ආහාර සමාගම්, සිල්ලර වෙළෙන්දන් / අපනයනකරුවන් සහ පාරිභෝගිකයින්ගෙන් සමන්විත වේ.


ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මික සැපයුම් දාමය මූලික වශයෙන් කොටස් හතරකට බෙදා දැක්විය හැක. එනම් වෙළඳපොළ පදනම් කරගත් දාම, ඒකාබද්ධ දාම, ශක්තිමත් ලෙස සම්බන්ධිත දාම සහ දුර්වල ලෙස සම්බන්ධිත දාම වේ. ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තය ගත් විට අතරමැදියන්ගේ විශාල මැදිහත්වීමක් දැකගැනිමට හැකිය. එය යම් විටෙක ගොවි ප්‍රජාව හට සෘණාත්මක බලපෑමක් ඇති කරන අතර එය සැපයුම් දාමයට අනවශ්‍ය බලපෑමක් වේ. මෙම අතරමැදි මැදිහත්වීමට මූලිකම හේතුව වී ඇත්තේ ගොවි ප්‍රජාව හට වෙළෙඳපොළ දැනුම හීන බවය. එම නිසා ගොවීන් සහ සිල්ලර වෙළදුන් අතර සම්බන්ධිකරණය ඉහළ දෑමිමට කටයුතු කළහොත් මෙම අතරමැදියන්ගේ අනවශ්‍ය මැදිහත්වීම සීමා කිරිමට හැකි වනු ඇත.



ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මික අංශය සහ එහි සැපයුම් දාමයන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් වන පහත සදහන් බොහෝ ගැටළු සඳහා මුහුණ දෙනු ලබයි. 


  • කුඩා පරිමාණ ගොවීන් හට දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ තරඟ කිරීමට අපහසු වීම.
  • දුර්වල සැලසුම් යාන්ත්‍රණයන් සහ පවතින දත්ත හිඟය නිසාවෙන් ඉදිරි සැළසුම් ක්‍රියාත්මක නොවීම නිසාවෙන් ඉල්ලුම හා සැපයුම අතර නොගැලපීම් තත්වයක් ඇති වීම. 
  • ගොවි ප්‍රජාව සතුව පවතින වෙළඳපල දත්ත සහ වෙළඳපල ප්‍රවේශය පිළිබඳ දැනුම පහළ මට්ටමක පැවතීම. 
  • ආනයන බදු නිතර වෙනස් කිරීම් සඳහා භාජනය වීම සහ තීරුබදු නොවන බාධක හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නිරන්තරයෙන් ඉහළ යාම.
  • දේශගුණික තත්වයන්ගේ වෙනස් වීම නිසා සිදුවන බලපෑම් හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නිරන්තරයෙන් ඉහළ යාම.
  • COVID-19 සමය තුළ පොහොර සහ බීජ වැනි කෘෂිකාර්මික යෙදවුම් සඳහා පවතින සීමිත ප්‍රවේශය මෙන්ම යටිතල පහසුකම් නොමැතිවීම. 


මෙම ඉතා වැදගත් ක්ශේත්‍රයන් කෙරෙහි SLYCAN Trust ආයතනයද මැදිහත් වීම ලබදෙමින් 2016 වසරේදී ප්‍රථම වරට පරිසර අමාත්‍යංශයේ දේශගුණික විපර්යාස ලේඛම් කාර්යාලය සමඟ එක්ව ගෝලීය තරුණ සංසදය සංවිධානය කරනු ලැබීය. මෙහි මූලිකම අරමුණ බවට පත්වූයේ දැනුම බෙදාහදා ගැනීම සඳහා තරුණ තරුණියන්ගේ සහභාගිත්වය දිරිමත් කිරිමයි.  තවදුරටත් දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රධාන ගැටළු සහ දේශගුණික ක්‍රියාකාරකම් සහ පර්යේෂණ පිළිබඳ අදහස් යෝජනා කිරීමට වේදිකාවක් තරුණ තරුණියන්ට ලබා දීමට සහ ධාරිතා වර්ධනය හා ජාලකරණය තුළින් ව්‍යාපෘති යෝජනා සංවර්ධනය කිරීමට හා වැඩිදියුණු කිරීමට තරුණ ප්‍රජාවට සහය වීමට මෙම වේදිකාව උපකාරී විය. 2020 වසරේ දෙසැම්බරයේ දී  අවසන් වරට පැවති සංසදයට ලොව පුරා  රටවල් 70 කට අධික සංඛ්‍යාවකින් පිරිස සහභාගී විය. මෙම සංසදයේ දී ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලද අතර, මූලිකම වශයෙන්දේශගුණය, ආහාර පද්ධති සහ ආහාර සුරක්‍ෂිතතාව කෙරෙහි තරුණ සහභාගීත්වය පිළිබඳව අවධානය යොමු කරනු ලැබීය.


යොමුව;


  • Jayantha, S., & De Silva, D. D. (2010). Supply Chain Management in the Aquaculture Industry: The Case of Food Fish Aquaculture in Sri Lanka. Sabaragamuwa University Journal, 9(1), 147-169. doi:10.4038/suslj.v9i1.3741


  • Prosekov, A. Y., & Ivanova, S. A. (2018). Food security: The challenge of the present. Geoforum, 91, 73-77.


  • Schmidhuber, J., & Tubiello, F. N. (2007). Global food security under climate change. Proceedings of the National Academy of Sciences, 104(50), 19703-19708.




  • Vermeulen, S. J., Aggarwal, P. K., Ainslie, A., Angelone, C., Campbell, B. M., Challinor, A. J., ... & Wollenberg, E. K. (2010). Agriculture, food security and climate change: Outlook for knowledge, tools and action.


  • World Health Organization. (2016). World health statistics 2016: monitoring health for the SDGs sustainable development goals. World Health Organization.


  • ‘තිරසර ශ්‍රි ලංකාව සඳහා දැක්ම සහ ක්‍රමෝපායික මාවත – ජනාධිපති විශේෂඥ කමිටුව’’ 2017 නොවැම්බර්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව.


  • ශ්‍රි ලංකාව  මහ බැංකුව, වාර්ෂික වාර්තා


නිමි.


Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
Mayantha Madurasinghe

Mayantha Madurasinghe works as the Assistant Manager, Programme and Finance at SLYCAN Trust. He is involved in thematic areas such as food systems, human mobility, loss and damage and youth. Mayantha has represented SLYCAN Trust in various forums, including the Conference of Parties of the UNFCCC in Egypt and UAE, and the Bonn Climate Change Conference 2023. He holds a BSc (hons) in Biotechnology from Nilai University Malaysia, and his extensive experience in the environmental field has led him to publish several research publications at various symposia.‍