සත්ත්ව සුබ සාධන පණත: නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සිට ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයට

April 10, 2017

සත්ත්ව සුබ සාධන පණත් කෙටුම්පත මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක  දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද සංස්කරණ වලින් අනතුරුව මේ වන විට පණත භාරව කටයුතු කරන, ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය වෙත නැවත යොමු කර ඇත. වසරකට පමණ පෙර මෙම පණත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු අතර බොහෝ කලක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවතුණු සත්ත්ව සුබ සාධන පණත අවසානයේ පණත භාර අමාත්‍යාංශය හරහා යම් ප්‍රගමනයක් ලබා ඇත.

දශකයක් පුරා සම්පාදනය වෙමින් කල් ඇදෙමින් තිබූ මෙම පණත මහජන මත විමසීමකට ලක් වූ යේ 2015 දී ය. එලෙස මහජන මතය සලකා බලමින් අමාත්‍යාංශය මඟින් සිදු කළ සංස්කරණයන් ගෙන් අනතුරුව කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය 2016 ජනවාරි මස 13 වන දින ලද පසු එය අදාළ නීතිමය සංස්කරණ සඳහා නීති කෙටුම්පත් සම්පාදක  දෙපාර්තමේන්තුවට යොමුකරන ලද්දේ මූලික කෙටුම්පතට සිදු කරන ලද වෙනස්කම් වලට අනුරූපව කෙටුම්පතේ  නීතිමය සම්පාදනයන් ඇතුළත් කරමින් කෙටුම්පත සංස්කරණය කිරීම සඳහා ය.

සත්ත්ව හිංසනය පිළිබඳ නීතිය අවසාන වරට සංශෝධනය  වූයේ 1955 දී ය. 1907 සත්ත්ව හිංසනය වැළක්වීමේ ආඥා පණත සියවසකටත් වඩා පැරණි අතර සත්ත්ව සුබ සාධනය පිළිබඳ නීතිමය සම්පාදන සලසා ඇත්තේ ද සත්ත්ව හිංසනය පිළිබඳ පණතේ ම ය. සත්ත්ව සුබ සාධනය පිළිබඳ කරුණු මෙන් ම මෙම පණත මඟින් පනවා ඇති දඩ මුදල් ද යල් පැන ඇති නිසා වහ වහා යාවත්කාලීන කළ යුතු ව ඇත. බොහෝ කලක් තිස්සේ සිවිල් සමාජයන් මෙන් ම සත්ත්ව සුභ සාධනය පිළිබඳ කටයුතු කරන පිරිස්  සහ පුද්ගලයන් රටේ නිතිය සත්ත්ව සුභ සාධනය සඳහා නිසි සම්පාදන පැන විය යුතු බවට බොහෝ අවස්ථා වල ඉස්මතු කර ඇත. මෙම ඉල්ලීම් වල සහ රට පුරා විසිරී ඇති මෙම පිරිස් වල වෙහෙසෙහි ප්‍රතිඵලයක් ලෙස සත්ත්ව සුබ සාධන කෙටුම්පත  පාර්ලිමේන්තුවේ සභා ගත විය. 2010 දී ගරු අතුරුලියේ රතන හිමි සත්ත්ව සුබ සාධන පණත සභා ගත කළහ.

නව පණත හරහා 1907 සත්ත්ව හිංසනය වැළක්වීමේ පණතේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා ඇති අතර සතුන් තමන් භාරයේ තබා ගන්නා සතුන් සම්බන්ධව අවධානීය යුතුකම් හඳුන්වා දී ඇත. මෙම අවධානීය යුතුකම  එලෙස තමන් භාරයේ සිටින සතුන්ට මානුෂිය ලෙස සැලකීමට මෙන් ම සත්ත්ව හිංසනය වැළැක්වීමට ඇති වගකීම ද නව පණත හරහා හඳුන්වා දී ඇති අතර සතුන්ගේ සුබ සාධනය සඳහා ප්‍රතිපාදන සලසා ඇත.  තව ද නව පණත යටතේ ජාතික සත්ත්ව සුබ සාධන අධිකාරියක් පිහිටුවෙනු ඇති අතර සත්ත්ව සුබ සාධනය පිලිබඳ රෙගුලාසි, පටිපාටි සහ සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා ද ප්‍රතිපාදන සලසා ඇත. ශ්‍රී ලංකාව තුළ නිසියාකාරව ක්‍රියාත්මක වන සත්ත්ව සුබ සාධන පද්ධතියක් සඳහා සතුන් ළඟ තබා ගන්න පුද්ගලයන් සතු අවධානීය යුතුකම හඳුන්වා දී ඇත.

සමාජය තුළ සත්ත්ව හිංසනය පිළිබඳ බොහෝ සිද්ධි වාර්තා වුව ද නිසි දඬුවම් දීමට ශක්තිමත් නීතියක් නොමැති වීම නිසා වරදකරුවන්ට විරුද්ධව නීතිය හරහා නිසි දඬුවම් නො ලැබේ. SLYCAN භාරය සාමාජිකත්වය උසුලන සත්ත්ව සුබ සාධන එකමුතුව හරහා නව සත්ත සුබ සාධන පණත සම්මත කිරී වෙනුවන් කටයුතු කරන අතර නව පණත පිළිබඳව සම්මේලන සහ සාකච්ඡා පවත්වනු ලබයි. මෙම එකමුතුව සත්ත්ව සුබ සාධනය සහ සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කරන සංවිධාන ගණනාවක් සාමුහිකව නව පණත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහ සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා ස්වෝත්සාහයෙන් කටයුතු කරයි.

සත්ත්ව අයිතිවාසිකම් ආරක්ෂා කරන සත්ත්ව සුබ සාධනය තහවුරු කරන සමාජයක් බිහි කිරීම උදෙසා නව සත්ත්ව සුබ සාධන පණත් කෙටුම්පත සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය ය.

Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
No items found.