සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ SLYCAN  Trust  ආයතනය එක්ව පැවැත්වූ සමුද්‍රීය පරිසරය සඳහා වූ සයවන ජාතික පර්යේෂණ  සම්මන්ත්‍රණය

May 1, 2021

සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින්, SLYCAN Trust ආයතනය සමඟ එක්ව සමුද්රීය පරිසරය සඳහා වූ සයවන ජාතික පර්යේෂණ  සම්මන්ත්රණ 2021 අප්‍රේල් 22, 23 යන දිනයන් හී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. "දේශගුණික ක්‍රියාකාරකම් කෙරෙහි නීල ආර්ථිකය වැඩිදියුණු කිරිම සඳහා  සාගර පාදක විසඳුම් සහ ප්‍රතිපත්ති රාමු" යන තේමාව යටතේ පැවති මෙම පර්යේෂණ  සම්මන්ත්‍රණයේ  පරමාර්ථ බවට පත් වුයේ දේශගුණික විපර්යාස, සමුද්‍ර ශාක හා සත්ත්ව විශේෂ, සංවේදී වෙරළබඩ හා සාගර පරිසර පද්ධති, නාවික හා සමුද්‍ර දූෂණය, ධීවර කටයුතු සහ නීල ආර්ථිකය සඳහා අදාළ ප්‍රතිපත්ති සහ ඒ ආශ්‍රිත නීති සම්පාදනය පිළිබඳ සංකීර්ණ කරුණු සාකච්ඡා කිරීම සඳහා දිවයින පුරා විසිරී සිටින ප්‍රවීණයන් පිරිස එකම වේදිකාවක් මතට ගෙන ඒමයි. 


මෙම පර්යේෂණ සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිය සඳහා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා මහජන සනීපාරක්ෂක කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සහභාගි විය. මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ  සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් පමණක් නොව අප සියල්ලන් සතුව පැවරී ඇති වගකිමක් බවය. මතු පරපුර වෙත මෙම සමුද්‍රීය පරිසර පද්ධති ආරක්ෂා කර දීම වත්මන් පරම්පරාවේ වගකිමක් බවය. මෙම විෂය පිළිබඳව දැඩි උනන්දුවක් සහ ඇල්මක් දක්වන පිරිසක් සිටින අතර,  එම පිරිස මෙම යාන්ත්‍රණයට ගෙන්වා ගැනිම අත්‍යවශ්‍ය බව හෙතෙම පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් එතුමා පැවසූවේ මෙවැනි පර්යේෂණ සම්මන්ත්‍රණ මගින් ජනනය කෙරෙන අදහස් සහ තොරතුරු, මහජනතාවට දැනගැනිමට සැලැස්විය යුතු අතර, සියළුම පිරිස් එකතු වී සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරිම වෙනුවෙන් සහයෝගිතාවයෙන් ක්‍රියා කළ යුතු බවයි.  


මෙවර මෙම පර්යේෂණ සම්මන්ත්‍රණය "දේශගුණික ක්‍රියාකාරකම් කෙරෙහි නීල ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා සාගර පාදක විසඳුම් සහ ප්‍රතිපත්ති රාමු" යන තේමාව යටතේ පැවැත්වූ අතර මේ සඳහා සමුද්‍රීය පරිසරය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි නියැලෙන පර්යේෂකයන්ගෙන් නිබන්ධන පත්‍රිකා රාශියක් ලබා ගන්නා ලදී.  මෙයින් නිබන්ධන පත්‍රිකා  20කට ආසන්න සංඛ්‍යාවක් සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් තෝරා ගන්නා ලදී.


මෙහිදී අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වන දර්ශනී ලහදපුර  මහත්මිය පවසා සිටියේ, ශ්‍රි ලංකාවේ සමුද්‍ර හා වෙරළබඩ පරිසර පද්ධති ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් හෙබි අතර මානව ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් වර්තමානයේ නොයෙක් ආකාරයේ තර්ජනයන්ට එම පරිසර පද්ධති  මුහුණ දී තිබෙන බවය.  එමෙන්ම ඇය පැවසූවේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා සමුද්‍රීය පරිසරයට බලපා ඇති තර්ජන වැළැක්වීමට, පාලනය කිරීමට සහ කළමනාකරණය කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට බලය පැවරී ඇති බවය.  එම අරමුණු මුදුන් පමුණුවා ගැනිමේ අභිලාශයෙන් ඒ සඳහා අදාළ ප්‍රතිපත්ති සහ උපායමාර්ග යාවත්කාලීන කිරීමට මෙවැනි වැඩසටහන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වාර්ශිකව පවත්වන බව තවදුරටත්  අදහස් දක්වමින් ඇය පවසා සිටියාය.  


මෙහිදී අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සමාන්‍යාධිකාරී ආචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ,  MEPA  ආයතනය සමුද්‍රීය පරිසර පද්ධතිය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවගේ දැනුවත්භාවය ඇති කිරීම සහ සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කිරිමට කටයුතු කරන බවය. සමුද්‍රීය සෞඛ්‍යය නංවාලීම යන  තේමාව යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගවේෂණයන් සිදුකරන අතර, ඒ පිළිබඳ තොරතුරු සහ දත්ත මහජනතාව සමග හුවමාරු කර ගැනිමට මෙම සම්මන්ත්‍රණ ඉවහල් වන බව හෙතෙම පැවසීය.  


මෙම සම්මන්ත්‍රණය විවිධ තේමාවන් කිහිපයක් යටතේ සැසි වාර කිහිපයකින් සමන්විත විය. මෙහිදී ඉදිරිපත් වන පර්යේෂණ අධ්‍යයනයන් හරහා ඉදිරිපත් වන නිගමනයන් මගින් සමුද්‍රීය හා වෙරළබඩ පරිසර පද්ධති හා සම්බන්ධ විශේෂිත කරුණු, සමුද්‍රීය හා වෙරළබඩ පරිසර පද්ධති මුහුණ පාන  ගැටළු විසඳීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග, සමුද්‍රීය සෞඛ්‍යය නංවාලීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ  නව මානයකින් විමසා බැලිමට හැකියාව ලැබේ.  


SLYCAN Trust ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා වොසිතා විජේනායක මහත්මිය මෙම අවස්ථාවේ දී පැවසුවේ,  සමුද්‍රීය සෞඛ්‍යය නංවාලීම අරමුණු කරගනිමින් සිදුකෙරෙන පර්යේෂණයන් දිරිගැන්වීම කෙරෙහි ගන්නා උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සම්මන්ත්‍රණය පැවැත්වූ බවය.  මෙම සම්මන්ත්‍රණය  ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ ජර්මානු ෆෙඩරල් අමාත්‍යංශයේ සහාය ඇතිව පවත්වනු ලැබු අතර මෙහි සන්නිවේදන, විකාශන සහ දැනුවත් කිරීම් කටයුතු සඳහා මිට්සුබිෂි ආයතනය සහාය වු බව ඇය තවදුරටත් සදහන් කළාය.  තම අදහස් දැක්විම නිම කරමින් ඇය මෙම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනිමට උපකාරී වූ සියලුම පාර්ශව වෙත ස්තුතිය ප්‍රකාශ කළාය. 


නිමි. 


Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.