දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීමේ පළාත් මට්ටමේ සැලැස්මට අදාල උතුරු පළාත් ධාරිතා සංවර්ධන වැඩසටහන

May 11, 2019

දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීමේ  පළාත් මට්ටමේ අනුහුරුවීමේ සැලැස්මට (PAP) අදාල උතුරු පළාත් දෙවැනි වැඩමුළුව යාපනය යු.එස් හෝටලයේදී පසුගිය 7 වැනිදා පැවැත්විණි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය, උතුරු පළාත් සභාව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය(UNDP), තුන්වැනි ජාතික සන්නිවේදනය (TNC) වෙනුවෙන් ස්ලයිකැන් භාරය (SLYCAN Trust) සහ ලෝක පරිසර අරමුදල (GEF) එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

(දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය සුනිමල් ජයතුංග මහතා වැඩමුළුවට එක්ව සිටි අයුරු)


දේශගුණික විපර්යාස අනුහුරුවීමේ ආයතන උතුරු පළාතේ රාජ්‍ය ආයතන තුළ පිහිටුවා ගැනීම හා ඒවා වැඩිදියුණු කරමින් එක් එක් ආයතන සදහා සකස්විය යුතු ආකාරය පිළිබද පරිපාලන ව්‍යුහය සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමුවිය.

උතුරු පළාතේ විවිධ රාජ්‍ය ආයතන නියෝජනයවන පරිදි රාජ්‍ය පරිපාලන නිලධාරින් පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙම වැඩසටනට එක්ව සිටි අතර ඔවුහු දේශගුණික විපර්යාස බලපෑමෙන් අත්මිදීම සදහා උතුරු පළාතේ දේශගුණික ආයතන ව්‍යුහය සකස්විය යුතු ආකාරය කණ්ඩායම් වශයෙන් එක්ව සාකච්ඡා කළහ.

දේශගුණික විපර්යාස සදහා විසදුම් සෙවීමේදී සාක්ෂි පදනම් කරගත් බිම් මට්ටමේ ක්‍රමෝපායක් අවශ්‍ය බව මෙම වැඩසටහනට එක්වු උතුරු පළාත් සභාවේ සභාපති සී.වී සිවඥානම් මහතා පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ ඔරිසා ප්‍රාන්තයේ පසුගියදා ෆොනි සුළි කුණාටුවෙන් සිදුවු ජීවත හා දේපල හානිය පිළිබදව අදහස් දැක්වු සී.වී සිවඥානම් මහතා දේශගුණ විපර්යාස පිළිබදව කල්තබා දැනගැනීම හා සුදානම්වීමේ ක්‍රමෝපායක් තුළින් බොහෝ ජීවිත හා දේපල හානි වළක්වා ගත හැකි බව අවධාරණය කළේය.

“ දේශගුණික විපර්යාස බලපෑමේ අවදානමෙන් මිදීමට බිම් මට්ටමේ වැඩපිළිවෙලක් අවශයයි. සාක්ෂිමත සිදුවන කිසියම් ආයතනික ක්‍රියාවලියක් ඊට අවශ්‍යයයි. එමගින් දේශගුණික විපර්යාස බලපෑම්  අවම කර ගැනීමේ හැකියාව ඇතිවෙනවා. ඉන්දියාවේ ඔරිසා ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටු තත්ත්වය තුළින් මේ ගැන හොදින්ම තේරුම් ගැනීමට හැකියි. කලාපීය වශයෙන් පෙර සුදානම්ව සිටීම තුළින් මෙවැනි අයහපත් කලගුණික තත්ත්වයන්ගෙන් ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙනවා “යැයි .වී සිවඥානම් මහතා පැවැසීය.

( වැඩසටහන අමතන උතුරු පළාත් සභාපති කේ.වී සිවඥානම් මහතා )


දේශගුණික විපර්යාස බලපෑමට පළාත් මට්ටමේ අනුහුරුවීමේ ක්‍රියාවලියේ වැදගත්කම සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය සුනිමල් ජයතුංග මහතාය.

“ දේශගුණික විපර්යාස බලපෑම කලාපීය වශයෙන් එකිනෙකට වෙනස් වුවක්. මෙම වෙනස්කම් පිළිබදව අවධානය යොමු කරමින් අනුහුරුවීමේ  ක්‍රමවේදය සැලසුම් කිරීම හා එය සංවර්ධනය කිරීම ඉතා වැදගත්. ” ආචාර්ය සුනිමල් ජයතුංග මහතා පැවැසීය.

ශ්‍රි ලංකාවේ දේශගුණික විපර්යාස පිළිබදව සන්නිවේදනය කිරීමේ ක්‍රමෝපායන් පිළිබදවද මෙම වැඩමුළුවේදී අවධානය යොමු කෙරිණි.

එහිදී දේශගුණික සාක්ෂරතාවය ඉහළ දැමීම, දේශගුණික විපර්යාස පිළිබද බලපෑම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ දේශගුණික බලපෑම්වලින් මිදීමට ක්‍රියාත්මක කළ යුතු විසදුම් පිළිබදව සාකච්ඡාවට ගැනිණි.

“ දේශගුණික විපර්යාස බලපෑම වෙනුවෙන් ක්‍රියාත්මකවීම ඵලදායී සහ කාර්යක්ෂම විය යුතුයි, ඒ වගේම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන  බොහෝ නියෝජිතයන්ගේ කැමැත්ත පරිදි එය සිදුවිය යුතුයි. දේශගුණික විපර්යාස පිළිබද සන්නිවේදනය සහ සාක්ෂරතාව එහි ප්‍රධාන භූමිකාවක් ඉටු කරනවා. මෙම අවශ්‍යතාව වෙනුවෙන් උපායමාර්ගික ක්‍රමෝපායක් සකස් කිරීමේදී  දේශගුණික විපර්යාස සම්බන්ධව බිම් මට්ටමේ සිට ක්‍රියාත්මකවන ක්‍රියාවලියක් අවශ්‍යයයි. ” ස්ලයිකැන් භාරයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය පැවැසුවාය.

( වැඩමුළුවේදී පළාත් අනුහුරුවීමේ සැලැස්ම සාකචඡා කරන උතුරු පළාත් රාජ්‍ය නියෝජිතයන්ගෙන් කොටසක්)


උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) ආර්. උමාකාන්තන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන) ආර්.එස් තුරෙයිරාජා, වවුනියාව දිස්ත්‍රික් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. ෂයිලාබානු, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ අම්බිකා තෙන්නකෝන්, ශ්‍යාමලී ප්‍රියන්ති, සුසන්ත උඩගෙදර, මහත්ම මහත්මීහු මෙම වැඩමුළුව ඇමතූහ.

රමේෂ් වරල්ලෙගම













Related Articles

Thematic Areas

No items found.

Tags

About the Author
No items found.